ආපසු

පරිච්ඡේදය 51

සේන සහ උදය රජවරුන්ගේ පාලන සමය

රජු: Sena II

9th Century AD

රජවරු පස්දෙනා — දප්පුල, දප්පුල II, උදය II, සේන III හා උදය III යන රජවරුන්ගේ පාලන කාලය පිළිබඳ පනස් එක්වන පරිච්ඡේදය.

පනස් එක්වන පරිච්ඡේදය රජවරු පස්දෙනා 01. මේ පස්වෙනි කසුප් රජුගේ අභාවයෙන් පසු දප්පුල යුවරජු බු.ව. 1472-1472 (ක්‍රි.ව. 928-928) දී ලංකාවෙහි රජු බවට පත්විය. මෙතෙමේ තමන්ගේ දප්පුල නමින් යුතු ආදිපාදයන් උපරාජ පදවියෙහි තැබූවේය. 02. මේ රජු මිරිසවැටි විහාරයට ගමක් පූජා කොට පෙර රජදරුවන්ගේ චාරිත්‍රයන් රැක මේ ලත්පොළොව, 03. බොහෝ කලක් අනුභව නොකොට, රජකම ලබා සිටියදී තමාගේ පෙර කර්ම විපාකයකින් සත්වෙනි මාසයෙහි මරුමුවට පත්විය. 04. මේ රජුගේ ඇවෑමෙන් පසු බු.ව. 1472-1484 (ක්‍රි.ව. 928-940) දී දප්පුල නමින් සිටි යුවරජු ලංකාවෙහි රාජ්‍ය පාලකයා බවට පත්වූයේය. එකල්හි හේ උදය ආදිපාද හට යුවරාජ පදවිය පිරිනැමීය. 05.එසමයෙහි දකුණු ඉන්දියාවෙහි පඬි රජු චෝළ රජුට බියෙන් තමන්ගේ ජනපදය හැර දමා නැව් නැගී ලංකාවෙහි මහතිත්ථයට ගොඩ බැස්සේය. 06.මේ දප්පුල රජ තෙමේ ඔහු කැඳවා දැක සතුටු සිත් ඇත්තේ ඔහුට මහත් සැප සම්පත් දී නුවරින් බැහැර වැස්සවීය. 07. 'සොළී රජු හා යුද්ධ කොට පටුනු දෙක ම ගෙන මේ පඬිරජුට දෙමි' යි ලංකාරාජ වූ දප්පුල තෙමේ සන්නද්ධ වූ කල්හි, 08. පඬිරජුගේ පවක් හේතුකොට ගෙන කිසියම් කරුණකින් ක්ෂත්‍රියයෝ නගරයෙහි දරුණු වූ යුද්ධයක් කළාහුය. 09. එකල්හි පඬිරජු මෙහි වාසයෙන් කම් නැතැයි සිතා ඔටුණු ආදිය මෙහි තබා කේරළ දේශය කරා ගියේය. 10. කැරැල්ල සංසිඳී ගිය විට රජ තෙමේ මහමෙව්නා උයනෙහි පිහිටි බෝධිඝරයට අනුරාධපුරයට ආසන්නයේ ඇති ගමක් පිදීය. 11. මේ රජුගේ රක්ඛක නම් සෙන්පති ථූපාරාමයෙහි ආවාසයක් කරවීය. ඉලංග නමැති සෙන්පති ද රාජ නමැති ආවාසය කරවීය. 12. දප්පුල රජ තෙමේ පෙර රජදරුවන්ගේ සිරිත් පරිදි සිය පරිපාලන කටයුතු කළේය. රාජ්‍යය ලබා දොළොස් වසරක් පැමිණි කල්හි කම් වූ පරිදි මිය පරලොව ගියේය. 13. මේ රජුගේ ඇවෑමෙන් පසු උදය යුවරාජ තෙමේ ලංකාවෙහි බු.ව. 1484-1487 (ක්‍රි.ව. 940-943) දී රජු බවට පත්විය. හේ 'සේන ආදිපාදවරයා යුවරාජ පදවියෙහි අභිෂේක කළේය. 14. එකල කිසියම් කරුණකට රජු කෙරෙහි බියට පත් ඇමතිවරු තපෝවනයට පිවිසියහ. රජුත් උපරජුත් එහි ගොස් ඔවුන්ගේ හිස් සින්ද වූහ. 15. මේ රජුන්ගේ ක්‍රියාවන් පිළිබඳව කළකිරීමට පත් තපෝවනවාසී භික්ෂූන් වහන්සේලා ඉන් නික්ම රජුට අයත් ජනපදය හැර රුහුණ බලා ගියාහුය. 16. එකල්හි රජුගේ ජනපදවාසීහු ද නගරවාසීහු ද බලසේනාවෝ ද චණ්ඩවාතයෙන් කැළඹී ගිය මහසයුර සෙයින් කිපුණෝය. 17. අභයගිරියෙහි රත්න ප්‍රාසාදයට නැගුණු රජ තෙමේ ජනයාට තමන්ව දක්වා ඔවුන්ව දැඩි සේ භය කරවා, 18. කැරැල්ලට සම්බන්ධව සිට තපෝවනයෙහි සැඟවී සිටි ඇමතිවරුන්ගේ හිස් සිඳවා ජනේලයෙන් පහතට හෙලූහ. 19. එය අසා සේන යුවරජු ද ඔහුගේ මිත්‍ර ආදිපාදවරයා ද ප්‍රාකාරයෙන් පැන වහා රුහුණට පලාගියෝය. 20. රජුගේ බලසෙනඟ ඔවුන්ව කලුගං තෙර දක්වා ලුහුබැඳ ගඟෙන් එතෙරට යන්ට ඔරු පාරු නොලැබුණ හෙයිනුත් ඔවුන් එතෙර වී ගිය හෙයිනුත් යළි හැරී ආවාහුය. 21. තපෝවනයේ තිබූ නිර්භයතාව බිඳී ගිය හෙයින් රාජපුත්‍රයෝ (සේනා යුවරජු හා ආදිපාද) රුහුණට ගොස් කලින් තපස්වීව වැඩහුන් භික්ෂූන් වහන්සේලා මුණගැසී, ඔවුන් ඉදිරියේ මුනින් වැටී 22. තෙත් වස්ත්‍ර ඇතිව, තෙත් කෙස් ඇතිව, නොයෙක් අයුරින් හඬා වැලපුනාහුය. මුරගා හඬා ඒ තපස්වී භික්ෂූන් කමා කරවා ගත්තාහුය. 23. බුදු සසුනේ ස්වාමී වූ ඒ භික්ෂූන් වහන්සේලාගේ ඉවසීමෙන්, මෛත්‍රියෙන්, ආනුභාවයෙන් ලක්දිව ස්වාමීහු දෙදෙනා හට පින උදා විය. 24. මහ සේනා සංසිඳුණු කල යුවරජුගේ බලසේනාවන් ද තුන් නිකායෙහි සංඝයා වහන්සේ ද ඔවුන් කැඳවාගෙන එන්ට රුහුණට ගියාහුය. 25. ව්‍යක්ත වූ නුවණැති වූ ඒ රාජපුත්‍රයෝ කලින් තපෝවනයෙහි වැඩහුන් පාංශුකූලික භික්ෂූන්ට ආයාචනා කොට උන්වහන්සේලා ද කැටුව සිය නගරයට ගියෝය. 26. එකල්හි උදය රජතුමා භික්ෂූන් වහන්සේලාට පෙර ගමන් කොට උන්වහන්සේලාගෙන් සමාව ගත්තේය. උන්වහන්සේලා යළිත් තපෝවනයට පමුණුවා රජ තෙමේ සිය මැදුරට ගියේය. 27. එතැන් පටන් පෙර රජදරුවන්ගේ සිරිත් පරිදි ලංකා රාජ්‍යය පාලනය කළ මේ රජු තුන් වසරකින් කර්මානුරූපව මිය ගියේය. 28. ඒ රජුගේ අභාවයෙන් පසු නුවණැති සේන යුවරජු ලංකාද්වීපයෙහි රජු ලෙස බු.ව. 1487-1496 (ක්‍රි.ව. 943-952) දී අභිෂේක කළේය. සිය මිත්‍ර උදය ආදිපාද යුවරජු බවට පත්කළේය. 29. මේ සේන රජු පොහෝ දිනයෙහි කහවණු දහසක් වියදම් කොට දුගියන්ට දන් දී පෙහෙවස් සමාදන් වෙයි. මෙතෙමේ දිවි ඇති තෙක් ම එය කළේය. 30. ලක්දිව පුරා වැඩහුන් සංඝයා වහන්සේ උදෙසා පිළිමබත් සහ සිවුරු පිණිස වස්ත්‍ර ද දුන්නේය. එමෙන්ම යාචකයින්ට ද ශිල්පීන් හට ද දණ්ඩිස්සර දානය දුන්නේය. 31. මහ නුවණැති මේ රජු කිසියම් තැනකදී භික්ෂූන්ට ඉතා මනහර ප්‍රාසාදයන් කොට භෝග ගම් ද දුන්නේය. 32. කහවණු දහසක් හෝ පන්සියයක් වියදම් කොට ලක්දිව දිරූ ආවාසයන් අලුත්වැඩියා කළේය. 33. මේ සේන රජු අභයගිරි සෑමලුවෙහි ගල්පතුරු ඇතිරවීම පිණිස කහවණු සතළිස් දහසක් දුන්නේය. 34. ලක්දිව මහා වැව්වල දිරාගිය සොරොව්වන් ද ප්‍රකෘතිමත් කරවන ලද්දේය. ගල් පස් දමා වැව් බැමි ද සවිමත් කොට කරවීය. 35. රජ නිවසෙහි රම්‍ය වූත් මාහැඟි වූත් මලසුන්-ගෙයක් කරවීය. පෙර රජවරුන් විසින් කරවන ලද දන්වැට යළි පැවැත්වීය. 36. අමාත්‍ය අග්‍රබෝධි කඳුරට රජු විසින් කරවන ලද නාගසාලා පිරිවෙණ දැක එයට ගමක් ද පිදීය. 37.සතර විහාරයෙහි රූප කැටයම් මනාව කරවා රම්‍ය වූ මණ්ඩපයන් තනවා හැම කල්හි ධාතු වන්දනාව කළේය. 38.මෙසේ නොයෙක් අයුරින් නොයෙක් පින් කොට රාජ්‍ය ලාභයෙන් නවවන වර්ෂයෙහි කර්මානුරූපව මිය පරලොව ගියේය. 39. මේ සේන රජුගේ අභාවයෙන් පසු උදය යුවරජු ලංකාවෙහි බු.ව. 1496-1504 (ක්‍රි.ව. 952-960) දී රජු බවට පත්වූයේය. ‌මෙතෙමේ සේන නම් ආදිපාදවරයා යුවරාජ පදවියෙහි අභිෂේක කරවීය. 40. එකල්හි ලංකාවාසී ජනයාගේ කිසියම් පවකට මේ උදය රජු නිද්‍රාශීලී සුරාසොඬෙක් විය. එහෙයින් ලක්රජුගේ ප්‍රමාදී හැසිරීම ගැන ඇසූ දකුණු ඉන්දීය සොළී රජු සතුටු සිත් ඇති කරගත්තේය. 41. පඬි දේශයේ රජුගේ අභිෂේකයට සහභාගීවනු කැමති පඬිරජු විසින් ලක්දිව තබන ලද ඔටුනු ආදිය පඬි රටට ගෙන්වීම සඳහා හසුන්පත් එවීය. 42. ලක්දිව උදය රජු ඒ ඔටුණු ආදිය ඔවුන් අතනොයැවීය. ඒ හේතුවෙන් සොළී පඬිරජු ඒවා බලහත්කාරයෙන් ගෙන එනු පිණිස මහා දෙමළ සේනාවක් මෙරටට එවීය. 43. එකල්හි මෙහි සෙන්පති තෙමේ පිටිසර ජනපදයක හටගත් කැරැල්ලක් මැඩපැවැත්වීම පිණිස රජුගේ අණ පරිදි ඔවුන් හා යුද්ධ කිරීමට එහි යවා සිටියේය. 44.එහිදී හටගත් යුද්ධයෙන් සෙන්පති තෙමේ රණබිම මරණයට පත් වූයේය. බියට පත් රජු ඔටුනු ආදිය රැගෙන රුහුණට ගියේය. 45. සොළී බලසේනා ලක්දිවට කඩා වැදී නුවරට ඇතුලුවනු නොහැකිව භයට පත්ව යළිත් ලක්දිව හැර සියරට ගියේය. 46. ඉක්බිති ලක් රජු මහ නුවණැති, තෙද ඇති වජිරග්ගනායකයන් පත්කළේය. සේනාපති තනතුරට 47. ඒ සෙන්පති තෙමේ පිටිසරබදව රැඳී සිටි සොළී රජුගේ සේනාව නසා බිහිසුණු රඟ දක්වා ඔවුන් ගෙන ගිය වස්තූන් ද නැවත ගෙන එන්ට අණ කළේය. 48. මේ උදය රජු මාහැඟි පිරිකරින් යුතුව ලක්වැසි සියලු පාංශුකූලික භික්ෂූන්ට මහදන් පිරිනැමීය. 49. එමෙන්ම මහවිහාරයෙහි වැඩහුන් ශාස්තෘන් වහන්සේගේ පිළිම වහන්සේට මිණි රුවනින් දිදුලන චූඩා මාණික්‍යයක් කළේය. 50. මේ රජුගේ අන්තඃපුර බිසවක් වූ විදුරා දේවිය දිදුලන මැණිකෙන් සරසන ලද පාදැලක් ඒ ශෛලමය පිළිමයට පිදීය. 51. ආක්‍රමණික සොළී රජුගේ සේනා විසින් ගිනි තබන ලද මැණික් නමැති ප්‍රාසාදය කරවන්ට පටන් ගත් රජු සිය රාජ්‍යයේ අටවන වසරේදී මිය ගියේය. 52. ලක් ධරණී තලයෙහි අධිපති බව දැරූ මේ රජවරු පස්දෙනා එක් සේසතින් ලකුණු කරවන ලද මිහිකත අනුභව කොට නිග්‍රහ සංග්‍රහ දෙකින් සියලු ලක්වැසියා වසඟ කරවා, සිය පුතුන් බිරියන්, මිත්‍රාමාත්‍යයන් සමග කාලානුරූපව මරු වසඟයට ගියාහුය. සත්පුරුෂ ජනයෝ ප්‍රමාදයෙහි ඇති මත්වීම දුරුකිරීමට මෙය මෙසේ නිරතුරු සිහිකරත්වා! මෙසේ හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු පස්දෙනා නමැති පනස් එක්වන පරිච්ඡේදය නිමාවට පත්විය.

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.