පරිච්ඡේදය 53
පස් රජවරුන්ගේ කතා පුවත
රජු: Udaya IV
10th Century AD
ලක්දිව පැහැර ගැනීම — පස්වන මිහිඳු රජුගේ කාලයේ සොළී ආක්‍රමණය, අනුරාධපුරය පැහැරගැනීම හා රජු අල්ලා ගැනීම පිළිබඳ පනස් තුන්වන පරිච්ඡේදය.
පනස් තුන්වන පරිච්ඡේදය ලක්දිව පැහැර ගැනීම 01 මේ සිව්වෙනි සේන රජුගේ ඇවෑමෙන් පසු මිහිඳු නමැති කණිටු රාජපුත්‍රයා උතුම් අනුරාධපුරයෙහි දී පස්වන මිහිඳු නමින් ලංකාවෙහි රජ බවට පත්වූයේය. (ක්‍රි.ව. 989-1037) 02 මෙකල සේන නම් සෙනෙවියා විසින් දේශ දේශාන්තරයෙන් ගෙන්වන ලද ජනයාගෙන් ව්‍යාකූල වී ගිය අනුරාධපුරයෙහි මේ රජ තෙමේ දුකසේ දසවසක් රජ කළේය. 03 රටෙහි නීතිය ක්‍රියාත්මක නොවීය. සියලු අයුරින් මෘදු වූ රජුට අය විය යුතු ආදායම් ජනපදවාසීහු නොදී සිටියාහුය. 04 අතිශයින් ධන හීනත්වයට පත්වූ මේ රජු දසවන වසරෙහිදී සිය බලසේනාවන්ට වැටුප් ගෙවාගැනීමට නොහැකි වූ හේතුවෙන්, 05 වැටුප් අහිමි වී ගිය කේරළයෙන් පැමිණි හේවායෝ එකට එක්වී 'අපට නොලද වැටුප් යම්තාක් නොලැබේ ද, ඒ තාක් රාජ්‍යානුශාසනා කරන්ට එපා!' යි කියමින්, 06.රජගෙහි දොරටුව අබියස බොහෝ සාහසික ක්‍රියා කරමින් කඩු දුනු ගත් අත් ඇතිව සිරියෙන් සන්නද්ධව හිඳ ගත්තාහුය. 07. රජ තෙමේ අතට ගත් හස්තසාර වස්තු ඇතිව උමගකින් නික්මී වහා රුහුණට පලාගියේය. 08 හේ එහි ගොස් සිඳු පර්වතය නමැති ගමෙහි කඳවුරු බැඳ ගත්තේය. සහෝදර සේන රජුගේ බිරිඳ මෙහෙසී තනතුරෙහි තබා එහි වාසය කළේය. 09 ඒ බිසව ද ටික කලකින් මිය ගියාය. එවිට රජු සිය සොයුරාගේ දියණිය මෙහෙසී තනතුරෙහි තැබීය. 10 ඒ දේවියගේ කුසින් කාශ්‍යප නමැති පුත‍්‍රයා බිහිකළ කල්හි රජතුමා කඳවුර අත්හැර ගොස්, 11 කප්පගල්ලක නම් ගමෙහි නගරයක් කරවා එහි අධිපතිව රුහුණෙහි බොහෝ කල් විසීය. 12 එකල්හි ලක්දිව පුරා අවශේෂ තැන්වල කේරළ හේවායෝත්, සිංහල හේවායෝත්, කර්ණාටක හේවායෝත් තම තමන්ට රිසි රිසි පරිදි අධිපතිකම් පැවැත්වූහ. 13 එකල්හි එක්තරා අස් වෙළෙන්දෙක් දඹදිව සිට මෙහි පැමිණ ලංකාවෙහි පවතින අරාජික තත්වය ගැන සොළී රජුට සැලකළේය. 14 එය ඇසූ සොළී රජු ලක්දිව අල්ලාගැනීමේ අදහසින් බලවත් මහා සේනාවක් පිටත් කොට එවීය. ඔවුන් වහා අවුත් ලක්දිවට ගොඩබැස්සෝය. 15 ඒ දෙමළ සේනාව ලක්දිවට ගොඩබට වේලෙහි පටන් බොහෝ ජනයා පෙළමින් අනුක්‍රමයෙන් ඒ සොළී බලය රුහුණ රටට ද පැමිණියේය. 16 ඒ මිහිඳු රජු ඔටුණු පළන් තිස්හයවන වර්ෂයෙහි ලක්රජුගේ මෙහෙසියත්, රත්නයනුත්, සිංහල රජපරපුරෙන් ආ මාහැඟි ඔටුන්නත් මෙන්ම සියලු රාජාභරණත්, 17 දෙවියන් විසින් දෙන ලද මිල නොකළ හැකි වූ දියමන්ති වළල්ලත්, නොකැඩිය හැකි සිරියත්, භාග්‍යවතුන් වහන්සේගේ පටී ධාතුවෙහි කොටසකුත් යන මෙතෙක් දෑ ද, 18 භයින් වන දුර්ගයට පැනගත් රජුත් ජීවග්‍රහයෙන් අල්ලාගෙන සමාදාන ගිවිසුමක් පෙන්වාලූහ. 19 ඉක්බිති රජුත්, ධනයත්, ඔවුන් අත්පත් කරගත් සියලු දේත් සොළී රජු වෙත වහා යවන ලද්දාහුය. 20 ඉක්බිති දෙමළ සේනාවෝ උතුම් අනුරාධපුරයට කඩාවැදුනාහ. තුන් නිකායට අයත්ව තිබූ සියලු ධාතු මන්දිර, විහාර, රනින් කළ මාහැඟි ප්‍රතිමාවන් ආදී අනල්ප වූ වස්තූන් ද, 21 ඒ ඒ තැන තිබූ සියලු විහාරයන් ද බලහත්කාරයෙන් බිඳ ඕජස් උරාබොන්නා වූ බිහිසුණු යකුන් සෙයින් ලංකාවේ සියලු සාරය පැහැරගත්තාහුය. 22 ඒ දකුණු ඉන්දීය සොළී සේනාවෝ පොළොන්නරුව ඇසුරු කොට ‛රක්ඛපාසාණඛණ්ඩ’ නම් තැන සිට අධිපති බව පවත්වමින් රජරට අනුභව කළාහුය. 23 සොළී දෙමළ රජුගෙන් උපද්‍රවයක් වේ දෝ හෝ යි යන භයෙන් රටවැසියෝ කාශ්‍යප කුමාරයාව රැගෙන ගොස් මහත් ආදරයෙන් රකිමින් ඇතිදැඩි කළාහුය. 24 සොළී රජුට මේ දොළොස් හැවිරිදි කාශ්‍යප කුමාරයා ගැන අසන්ට ලැබුණේය. ඔහුව ද අල්ලාගනු පිණිස මහඇමතියන් සහිතව මහ බලසේනාවක් වන, 25 පන්දහසකින් අඩු හේවායන් ලක්ෂයක් ද ලබාදී මෙහෙයුම් කටයුතු කරවීය.ඔවුහු කුමරු සොයමින් මුළු රුහුණු රට ම කළඹවාලූහ. 26 ඉක්බිති මක්ඛකුදෑසවාසී කීර්ති නමැති ඇමතියෙක් ද, මාරගල්ලවාසී බුද්ධ නමැති ඇමතියෙක් ද යන, 27 මහා වීර්යය ඇති, යුද්ධෝපායෙහි දක්ෂ වූ මේ ඇමති දෙදෙන සොළී සේනාවන් වනසන්ට කරන ලද දැඩි අධිෂ්ඨාන ඇත්තාහු, 28 පලුට්ඨගිරි යන තැන දුර්ගයෙහි වසමින් සය මාසයක් පුරා යුද්ධ කොට බොහෝ දෙමළුන් නසාලූහ. 29 මරණයෙන් බේරීගත් ඉතිරි දෙමෙල්ලු යුද්ධයෙන් බියපත්ව පලාගොස් කලින් සේ ම පොළොන්නරුවෙහි වාසය කළාහුය. 30 එකල්හි කසුප් කුමාරයා දෙමළුන් ජයගත් ඇමතිවරු දෙදෙනා දැක සතුටුව 'දරුවෙනි, තෙපි වරයන් ගනිව්’ කියා පැවසීය. 31 බුද්ධ ඇමතියා පරම්පරාවෙන් භුක්ති විඳගෙන ආ ගම වරයට ඉල්ලීය. කීර්ති ඇමතියා සංඝයාගෙන් ගන්නා ලද ආදායම ආපසු සංඝයාට ගෙවීමට වරයක් ඉල්ලීය. 32 නිර්භීත වූ ආදර සහිත වූ ඒ ඇමතිවරු දෙදෙන රාජපුත්‍රයාගෙන් වර ලබාගෙන රජකුමරහුගේ පා වැන්දාහ. 33 සොළීන් විසින් ජීවග්‍රහයෙන් අල්ලාගන්නා ලද ලක්දිව පස්වන මිහිඳු රජු දොළොස් වසරක් සොළී මණ්ඩලයෙහි වාසය කොට ලක්දිව ඔටුණු පැළඳ සතළිස් අට වසක් ගිය තැන මිය පරලොව ගියේය. 34 මෙසේ ප්‍රමාද දෝෂයෙන් යුක්තව වාසය කිරීම නිසා, තමන් ලබන ලද භෝගයෝ ද වැඩිකල් නොපවතින්නාහ. එහෙයින් තම හට යහපත කැමති නුවණැත්තා අප්‍රමාදී ප්‍රතිපදාවෙහි යුහුසුළුව හැසිරෙන්නේය. මෙසේ හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ලක්දිව පැහැරගැනීම නමැති පනස් තුන්වන පරිච්ඡේදය නිමාවට පත්විය.

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.