ආපසු

පරිච්ඡේදය 54

රජවරු සයදෙනා

රජු: {"en": "Vikramabahu, Kīrti, Mahālāna Kīrti, Vikramapaṇḍita, Jagatpāla, Parākrama", "si": "වික්‍රමබාහු, කීර්ති, මහාලාන කීර්ති, වික්‍රම පඬි, ජගත්පාල, පරාක්‍රම"}

{"en": "c. 1037–1059 CE", "si": "ක්‍රි.ව. 1037–1059"}

මහාවංශයේ පනස් සතරවන පරිච්ඡේදය රුහුණු රජවරුන් වූ වික්‍රමබාහු, කීර්ති, මහාලාන කීර්ති, වික්‍රම පඬි, ජගත්පාල සහ පරාක්‍රම යන රජවරු සයදෙනාගේ කෙටි රාජ්‍ය සමයන් විස්තර කරයි.

පනස් සතරවන පරිච්ඡේදය රජවරු සයදෙනා 01 එකල සියලු සිංහලයෝ ඒ කාශ්‍යප කුමාරයාට වික්‍රමබාහු යන නම තබා බු.ව. 1581-1593 (ක්‍රි.ව. 1037-1049) ආදර සහිතව ඒ රාජපුත්‍රයාගේ අණ පිළිපැද්දාහ. 02 ලක්දිව පැහැරගත් දෙමළු නැසීම පිණිස මේ වික්‍රමබාහු රජු නොයෙක් අයුරින් ධනය රැස්කළේය. යථායෝග්‍ය පරිදි සේවකයන්ට සංග්‍රහ කළේය. 03 අලංකාරවත් ඔටුන්න, ඡත්‍රය, සිංහාසනය ද කරවා රාජ්‍යයෙහි අභිෂේක කරනු පිණිස ඇමතිවරුන් විසින් ආයාචනා කරන ලද්දේ, 04 අපගේ රජරට යම්තාක් අප සතු නොවේද, ඒ තාක් මාගේ සේසත් නැංවීමේ උත්සවයෙන් කවර පලෙක් දැ'යි අසා, 05 මහා බල ඇති ක්ෂත්‍රිය තෙමේ ලක්ෂයක් මිනිසුන් එක්රැස් කරවා යුද්ධය පටන් ගන්ට සූදානම් වන අවස්ථාවේ වාත රෝගයෙන් දැඩි ලෙස පීඩිත වූයේ, 06 මේ යුද්ධ කරන්ට කාලය නොවේ යැයි සලකන්නාක් මෙන් දොළොස්වන වසරෙහිදී වහා දෙව්ලොව ගොස් දෙවියන් හා එක්වූයේය. 07 එකල්හි කීර්ති නමැති ඇමතියා සෙන්පති පදවියෙහි සිටියේ රාජ්‍ය විචාරීමෙහි ආසාව ඇතිව අට දිනක් සිය අණසක පැවැත්වීය. 08 එවිට මහා බල ඇති මහාලාන කීර්ති නම් අයෙක් ඒ කීර්ති ඇමතියා ඝාතනය කොට බු.ව. 1593-1596 (ක්‍රි.ව. 1049-1052) දී රාජ්‍යාභිෂේක ලබා රුහුණු රට පාලනය කරමින් සිටියදී, 09 තමන්ගේ රාජ්‍ය පාලනයට තුන් වසරක් ගිය තැන සොළීන් හා කරන ලද යුද්ධයෙන් පැරදුනේ එහි ලා සැහැසිව සිය අතින් හිස සිඳගෙන මළේය. 10 එකල්හි දෙමෙල්ලු රුහුණු රජුට අයත් ඔටුණු ආදී සාරවත් ධන සම්භාරය ද එක්කොට සොළී රජු වෙත පිටත් කොට යැවීය. 11 එකල තමන්ගේ රටින් පැමිණි භයක් හේතුවෙන් පලාගොස් නපුරු දේශයෙහි වසන එක්තරා දෙමළ රජකුමරෙක් වික්‍රම පඬි නමින් ප්‍රසිද්ධ වූයේ, 12 ලක්දිව පවත්නා අරාජික බව දැන රුහුණු දේශයට අවුත් කලුතොට වාසය කරමින් බු.ව. 1596-1597 (ක්‍රි.ව. 1052-1053) එක් වසරක් රුහුණු රාජ්‍යය කළේය. 13 රාම ගෝත්‍රයෙහි උපන් ජගත්පාල නමින් ප්‍රසිද්ධ තවත් දෙමළ රාජ පුත්‍රයෙක් දකුණු දඹදිව (අයෝධ්‍යා පුරයෙහි) සිට මෙහි පැමිණියේ, 14 යුද්ධයෙහිදී වික්‍රම පඬි රජුව ඝාතනය කොට මහා බල ඇතිව බු.ව. 1597-1601 (ක්‍රි.ව. 1053-1057) රාජ්‍යය සිව් වසරක් පාලනය කළේය. 15 සොළී සේනා පැමිණ රණබිමෙහිදී ජගත්පාලව ද මරා ඒ ජගත්පාලගේ මෙහෙසියත් දියණියත් සියලු සාරවත් වස්තුවත් සොළී රටට ම පිටත් කළේය. 16 ඉක්බිති සොළී පඬි රජුගේ පුත්කුමාරයා මෙරටට පැමිණ පරාක්‍රම නමින් රජව බු.ව. 1601-1603 (ක්‍රි.ව. 1057-1059) දෙවසරක් රුහුණු ලක්රජය විචාළේය. 17 අතිශයින් ම බල ලෝභයෙන් මඩනා ලද සිත් ඇති මොවුහු සියලු දෙන විගසින් ම විනාශයට පත් වූවාහුය. එහෙයින් නුවණැත්තා මෙකරුණ දැන තෘෂ්ණාව ගෙවා දැමීම පිණිස ඇලුම් කළ යුත්තේය. මෙසේ හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු සයදෙනා නමැති පනස් සතරවන පරිච්ඡේදය නිමාවට පත්විය.

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.